(පළමුවෙන්ම කිව යුත්තේ මෙය මා පොත කියවා ලියන විචාරයක් බවත් මා මේ කියන කරුණු එම පොත කියවන තවත් අයකුට වෙනත් මානයකින් ග්‍රහණය විය හැකිය යන්නත් ය)
ඒ දුලන්‍යා ගේ කතාන්දරය යි; සමාජ සම්මතයයැයි කියන සාම්ප්‍රදායික ගැහැනියකගේ රාමුවෙන් පිටතට යෑමට උත්සාහ කරන ගැහැනියකගේ කතාව යි. ඊට සිංහල, දෙමළ කියා වෙනසක් නොමැත. දුලන්‍යා මෙන්ම රාජිනී යන චරිතයෙන් ද පෙන්වා දෙන්නේ අප සියල්ලෝම මනුෂ්‍යයන් වන අතර ගැහැනියකගේ නිදහස් සිතුම් පැතුම්වලට ජාතියක් අවශ්‍ය නොවන බව ය.
දුලන්‍යා පවසන කතාන්දරයක් ලෙසින් ඇරඹෙන ධරණි වර්තමානයේ දී කියැවෙන කතාන්දරයක් වුව ද අතීතාවර්ජන ඔස්සෙ 1980ගණන් කරා ගොස් එතැන් සිට නැවත වර්තමානය දක්වා ලියැවී ඇත. 88,89 භීෂණ සමය මෙන්ම තිස් වසරක් තිස්සෙ ලාංකීය සමාජය බැටකෑ කුරිරු යුද්ධය පිළිබඳව ද තවමත් එකී භීෂණ කාලවකවානුවල අඳුරු සෙවණැලි අප සමාජය තුළ මෙන්ම මිනිස් සිත්සතන් තුළ ද පැළපැදියම් වී ඇති බව පෙන්වා දෙන අපූරු කතාන්දරයකි; මනුෂ්‍යත්වය පිළිබඳ අපූරු කතාන්දරයකි; සිංහල හෝ වේවා දමිළ හෝ වේවා අප සියල්ලන්ම ලෙයින් මසින් සැදුණ මිනිසුන් බව පෙන්වා දෙන කතාන්දරයකි; ජාතිවාදයට සියුම් කනේපහරක් ගසන කතන්දරයකි; නානාප්‍රකාර චරිත රාශියක් ඔස්සේ සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන්ගේ සිතන පතන ස්වරූපයද, එකකු තවකකුට කුඩුකේඩුකම් කරන ආකාරය මෙන්ම කේළම්, දුෂ්ඨකම් නිසා මිනිසුන් කෙතරම් අසරණ වන්නේදැයි පවසන කතාන්දරයකි.
විවාහය යනු ආදරයෙන් ඔබ්බට දිවෙන්නා වූත්, එකිනෙකා පිළිබඳ වටහාගැනීම අත්‍යාවශ්‍ය වන්නාවූත් කරුණක් බව කතුවරිය කියාපාන්නීය. වර්ණික චරිතය ඒ කරුණ මොනවට සනාථ කරයි. ධරණි ඔබේත් මගේත් අප සියල්ලන්ගේත් කතාවයි.
ජීවිතයේ අප මුහුණ දෙන්නා වූත් මුහුණ දී ඇත්තා වූත් යම් යම් කරුණු, ඔබගේ ගැඹුරු චිත්තසන්තානයෙහි නිදා ඇති සිද්ධීන් ඇතැම්විට ධරණි හරහා ඔබට නැවතත් මතකයට නැංවෙනු ඇත. ඔබ ඒ ඔස්සේ සිතන්නට පොළඹවනු ඇත. මානුෂික හැඟීම් අවදි කරවනු ඇත. කත්‍යානාගේ එම වචන භාවිතය, වචන පෙළගැස්ම අපූරු තානයක් ඔස්සේ භාවිතා කර එක හුස්මට පොත කියවා අවසන් කළ හැකි අයුරකට පත් කර ඇත.
"අපි අවාසනාවන්‍ත කාලයක ඉපදුණු අවාසනාවන්ත මිනිස්සු" - ජයකාන්තන්
"මං දන්නෑ කියලා බෑ. ඇත්තටම ජයකාන්තන්ට කවුරුහරි ඕන දැන්. ගෑනු වගේ නෙමෙයි. පිරිමි චණ්ඩි වගේ හිටියට ළාමකයි. තට්ට තනියම ඔහොම ඉන්න ගියාම එයා විනාස වෙයි. එයා මුළු ජීවිතේම පිස්සු වට්ට ගනීවි. මට දැං එයා වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ. තේරෙනවනේ. ඒක හින්දා කවුරුහරි ඒක බාරගන්න ඕන." -රාජිනී
"ගෑනුන්ට ආසාව නිසා ඇතිවෙන ආදරෙයි, ගෑනු එක්ක ජීවිතේ බෙදාගන්නකොට ඇතිවෙන ආදරෙයි කියලා පිරිමින්ට ආදරේ වර්ග දෙකක් තියෙනව කියල ගෑනු දැනගන්න ඕන දුලන්‍යා. අපි වගේ ගෑනුන්ට අයිති අර ආසාව නිසා එන ආදරේ. උන්ගෙ කසාද ගෑනුන්ට අයිති අර ජීවිතේ බෙදාගන්නකොට ඇතිවෙන ආදරේ. ඕකෙන් කල් පවතින එක තමයි අර දෙවෙනි එක." - සොනාලි
පළමු පිටු කිහිපය කියවාගෙන යද්දී දුලන්‍යාගේ බෝනික්කා සම්බන්ධ සිද්ධියක් ගැන කතුවරිය පවසද්දී ආර්. එල්. ස්ටයින්ගේ Haunting Hours කතාමාලාවේ එන my imaginary friend නම් කතාන්දරය මාහට මතක් විය. සිංහල නවකතාවක එබඳු සිද්ධියක් මා කියැවූ ප්‍රථම අවස්ථාව මෙය බව කිව යුතුය. දුලන්‍යාගේ චරිතය පිළිබඳව නිර්වචනයක් දීමට ධරණි කියවා බලන මෙන් ආරධනා කරමි. ඇත්තෙන්ම දුලන්‍යා මානසික ව්‍යාධියකින් පෙළෙන්නේ ද? එය සොයා ගැනීම ඔබටම බාර කරමි!
ධරණි ඔබට වෙනස්ම ආරක කියැවීමක් වනු ඇත. සිංහලයා මෙන්ම දෙමළා ද මිනිස්සු බව පසක් කරදෙනු ඇත. ධරණි මනුෂ්‍යත්වය සපිරි 'මනුෂ්‍යයන්ගේ' කියවීම උදෙසාය.
(ප.ලි.- පොත කියවද්දි තොළ ගාන්නට උණු උණු කෝපි නැත. පොරවන්නට සේද සලු නොමැත. කඩල ග්‍රෑම් 100ක් තිබුණි. එය සෑහුණි. මෙබඳු පොතකට කෝපිවල හෝ වැස්සේ අවශ්‍යතාවයක් නොමැත)
කත්‍යානා ගේ ධරණි මාගේ දෑසට කඳුළු නැංවීය. Kathyana Amarasinghe ඔබට ජය..
Kaveesha Nadun Kaggodaarachchi